0

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මිනිස්සු බැඳීම් ඇති කරගන්න කොච්චර උත්සහ ගන්නවද? හේතුව තමයි බැඳීම් ඇති කරගෙන ඒ තුළින් සතුටක් ලබන්න. එහෙම තමන්ට ඕන දේ නැත්නම් ඕන කෙනා නොලැබුණාම මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ ඒ ගැන හිතලා දුක් වෙන එකයි. අනිත් අතට බැඳීම් නිසා දුක් වෙන මිනිස්සුත් කොච්චර ඉන්නවද? හැමදේම අත් ඇරලා නිදහස් ජීවිතයක් ගත කරන කෙනාට මේ කිසි ප්‍රශ්නයක් නෑ කියලයි මං නම් හිතන්නේ.

හරි එහෙනම් කතාව ගැන පුංචි ඉඟියක් දෙන්නම්. මේ කතාව 20 වෙනි සියවසේ මුල් භාගයේදී උන සිදුවීමක් වටා තමා ගෙතෙන්නේ. පර්සි ෆෝසෙට් (Charlie Hunnam) කියන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ මේජර් වරයෙක්. පර්සිගේ දක්ෂ බව නිසාම එයාට ගවේෂණයකට යන්න බ්‍රිතාන්‍ය හමුදාවෙන් නියෝග ලැබෙනවා. හැබැයි මේක යුද්ධයකට යන ගමනක් නෙමෙයි. ඇමසන් වනයේ සැඟවුණු නගරයක් හොයාගන්න අවුරුදු කිහිපයකට යන ගමනක්. පර්සිගෙ බිරිඳ නීනා ෆෝසෙට් (Sienna Miller) තමන්ගේ සැමියාව මේ ගමනට යවන්න කැමති වෙන්නේ නෑ. ඒත් මේ ගවේෂණයේ සාර්ථකත්වය පර්සිගේ උසස් වීම් වලට හේතුවක් වෙන නිසා නීනා වගේම පර්සිත් තමන්ගේ කැමැත්ත බ්‍රිතාන්‍ය හමුදාවට දෙනවා.
පර්සි, කොස්ටින් (Robert Pattinson) සහ මරේ (Angus Macfadyen) ඇතුළු කණ්ඩායමක් හදාගෙන එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම ඇමසන් වනයට ගිහින් “ඉසෙඩ්” නමින් හැඳින්වූ මේ සැඟවුණු නගරය හොයාගන්න උත්සහ කලත් ඒ උත්සහයන් දෙකම අසාර්ථක වෙනවා. පර්සිගේ ඇති නොපසුබට උත්සාහයත් නීනාගෙන් ලැබෙන මිල කරන්න බැරි සහයෝගයත් ශක්තිය කරගෙන ඉසෙඩ් නගරය හොයන්න පර්සි තුන්වෙනි වතාවට යන්නේ තමන්ගේ බිරිඳ අතින්ම ලොකු මහත් කල වැඩිමහල් පුතා ජැක්වත් (Tom Holland) අරගෙනයි. නීනා තමන්ගේ අන්තිම හුස්ම හෙලනකල් සැමියයි වැඩිමහල් පුතයි එනකල් බලන් හිටියත් ඒ දෙන්නා ආපහු ගෙදර එන්නේ නෑ. ඒ එයාලට ඉසෙඩ් නගරය හොයාගන්න පුළුවන් උන නිසාද? නැත්නම් වනචාරීන් අතින් මැරුම් කෑ නිසාද? ඒ තීරණය ඔයාලට බාර කරනවා.
පැය 2ක් සහ විනාඩි 21ක් පුරාවට දිවෙන මේ කතාවේ IMDb අගය 6.8 ක් වෙනවා. චිත්‍රපටය 2016 වර්ෂයට අයත් එකක් උනත් මුලින්ම ප්‍රදර්ශනය කලේ 2017 අවුරුද්දේ මාර්තු මාසයේ ජර්මනියෙයි. මේ කතාව ඇත්ත කතාවක් නිසා කතාවේ වටිනාකම වගේම සංවේදී බවත් වැඩියි. ඒ වගේම චරත තෝරා ගැනීමේ දී අධ්‍යක්‍ෂක James Gray සෑහෙන්න සැලකිලිමත් වෙලා තියනවා. මට ඒක ගොඩක්ම තේරුණේ ජැක්ගෙ මූණ දැක්කම එයා ඇත්තටම පර්සිගෙ පුතෙක් වගේ පෙනුන නිසයි. විශ්වාස කරනවා මේ කතාව වටිනා සිනමා අත්දැකීමක් ඔයාලගේ ජීවිතයට එක්කරාවි කියලා. ඒ වගේම ඒක බැඳීම් වල තියන සුන්දරත්වය වගේම අනියත බවත් ඔයාලට තේරුම් කරලා දේවි.
එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බෙනකල් හැමෝටම ජය වේවා!

https://www.4shared.com/file/NS59wuRSei/The_Lost_City_of_Z__2016__720p.html

Post a Comment

 
Top